ආර්. ක්ලාර්ක් කූපර් ලබන සතියේ දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ලබන සතියේ දිවයිනට

by Staff writer 31-05-2019 | 6:31 PM

COLOMBO (News 1st) - අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුනේ, මැයි 29 වන දා සිට ජුනි 7 වන දා දක්වා සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි. ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයේදී ඔහු ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිත්‍රස්තවාදය හා දෙපාර්ශවයට වැදගත් වෙනත් අංශ පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් විය. කූපර් මහතා සිංගප්පූරුවේදී වැඩබලන අමෙරිකානු ආරක්ෂක ලේකම් පැට්‍රික් එම් ෂැනහන් මහතා සහ ගිනි අවි පාලනය හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරයා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් සමග ෂැංග්‍රිලා සංවාදය නමැති විශේෂ සමුළුවට සහභාගිවීමට නියමිතයි. අමෙරිකානු නියෝජිතයින් සිංගප්පූරුවේ කරන සාකච්ඡාවලදී නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනු ඇති. මේ අතර සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා ඉන්දියාවේදී ඉන්දු සාන්තිකර උපාය මාර්ග සම්බන්ධයෙන් වැදගත්වන ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. ඉන්දු , අමෙරිකානු ආරක්ෂක වෙළෙඳ කටයුතු මේ වනවිට ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනයවී තිබේ.