අදින් ඇරඹෙන ක්‍රිකට් වසන්තය

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද?

by Staff writer 30-05-2019 | 12:27 PM
(News 1st): 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් අද ආරම්භ වේ. සිව් වසරකට වරක් පැවැත්වෙන තරගාවලිය මෙවර ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙනි. ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ 12වෙනි වරටයි. 1975 වසරේදී පළමු ලෝක කුසලානය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි 11 වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු වේ. ඔවුන් දිනාගත් ලෝක කුසලාන ගණන 5කි. ඒ, 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසර වලදී ය. 1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කිරුළ දිනු ශ්‍රී ලංකාවට 2007 සහ 2011 වසරවලදී අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වුණා. එදා මෙදාතුර ලෝක කුසලාන ජයග්‍රහණය කරනු ලැබූ රටවල් 1975 - බටහිර ඉන්දීය කොදෙව් 1979 - බටහිර ඉන්දීය කොදෙව් 1983 - ඉන්දියාව 1987 - ඔස්ට්‍රේලියාව 1992 - පකිස්ථානය 1996 - ශ්‍රී ලංකාව 1999 - ඔස්ට්‍රේලියාව 2003 - ඔස්ට්‍රේලියාව 2007 - ඔස්ට්‍රේලියාව 2011 - ඉන්දියාව 2015 - ඔස්ට්‍රේලියාව නවක සහ ප්‍රවීන ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේදී ය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එහි පලමු තරගය සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දකුණු අප්‍රිකාවට 2015 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූයේ නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙනි. ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකාව දක්ෂ සහ සමබර කණ්ඩායමකි. වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිඳු ශූරතාවයක් තමන් සතු කර ගැනීමට නොහැකි වූ එංගලන්තය මෙවර තරගාවලියට පිවිසෙන්නේ ඔයින් මෝගන්ගේ නායකත්වයෙනි. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිත ය.