by Staff writer 30-05-2019 | 8:21 PM
COLOMBO (News 1st) : මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අයිතියක් නොමැති පෞද්ගලික රෝහලක් වුව ද එහි සියලු වියදම් රජය දරන බව අද අනාවරණ විය.
මේ බව අනාවරණ වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය රජයේ ආයතනවල වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන් අවස්ථාවේදීයි.
2015 ජනවාරි 15 වනදා සිට, 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ පරීක්ෂණ කොමිසන් සභාව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කිරීම පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොමිසම හමුවේ අද සාක්ෂි දුන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වසර 10 ක් යනතුරු සයිටම් ආයතනයටම අයිති බව කැබිනට් පත්‍රිකාවක් මගින්ම තීරණය කර ඇති බවයි.
ඒ අනුව රෝහල රජයට ගන්නේ නම් එම කාල සීමාව පසුවීමෙන් පසුව කටයුතු කළ යුතු බව ලේකම්වරිය සඳහන් කර තිබේ.
ජනාධිපති කොමිසම මාධ්‍යයට නිකුත්කළ නිවේදනයක දැක්වුණේ, ඇමතිවරු මූල්‍ය කටයුතු ගැන වැරදි යෝජනා ගෙනාවත් අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් එම වැරදි තීරණවලට විරුද්ධවීම තමන්ගේ රාජකාරිය බව පිළිගන්නේ දැයි කොමිසමේ සභාපතිවරයා විමසූ විට එය පිළිගන්නා බව ලේකම්වරිය සඳහන් කළ බවයි.
සාක්ෂි විභාගය ජුනි මස 6 වනදා දක්වා කල් තැබිණ.