නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයකට සැරසෙයි

නරේන්ද්‍ර මෝදි ජුනි මාසයේ මෙරට සංචාරයකට සැරසෙයි

by Staff writer 30-05-2019 | 7:12 PM
COLOMBO (News 1st) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේ ය. රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේද සහභාගිත්වයෙන් උත්සවය රාත්‍රී 7 .00ට ආරම්භ වූයේ එරට ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන්හිදී ය. පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා භූතානය මියන්මාරය තායිලන්තය ඇතුලු ආසියානු රටවල් රැසක රාජ්‍ය නායකයෝ අද දවස පුරා ඉන්දියාවට පැමිණියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද දහවල් ඉන්දියාවට ළඟාවුණේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද සමගිනි. දිවුරුම් දීමේ උත්සවය සදහා දෙස් විදෙස් අමුත්තන් 8000 කට අධික පිරිසක් සහභාගි වූහ. මේ අතර දිවුරුම් දීමේ උළෙලට පෙර අද පෙරවරුවේ නරේන්ද්‍ර මෝදි මහතා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි සහ මහත්මා ගාන්ධි යන නායකයින්ගේ ස්මාරකවලට බුහුමන් දැක්වී ය. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, අගමැති නිල නිවසේදී භාරතිය ජනතා පක්ෂ මහජන නියෝජිතයින්ගේ රැස්වීමක්ද පැවැත්වූ බවයි. එහිදි නව අමාත්‍ය මණ්ඩලයේ තනතුරු බෙදා දිම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. මේ අතර ලබන ජුනි මස 7-8 දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ ය. ඔහු සිය මාලදිවයින් සංචාරයේදී එරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.