මෝදිගේ පදවි ප්‍රාප්ති උළෙලට භාරතය සූදානම්

නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්ති උළෙලට භාරතය සූදානම්

by Staff writer 30-05-2019 | 7:54 AM

News 1st - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද භාරතයේ පාලකයා ලෙසින් යළි දිවුරුම්දීමට නියමිත වේ.

අභිමානවත් එම උ‍ළෙල රාත්‍රි 7.00 ට ආරම්භ වන්නේ රාශ්ට්‍රපතිභවන්හිදී ය. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාජිකයින් දිවුරුම් දෙනු ඇති. දිවුරුම් දීමේ උළෙලට පෙරාතුව අද පෙරවරුවේ නරේන්ද්‍ර මෝදි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි සහ මහත්මා ගාන්ධි යන නායකයින්ගේ ස්මාරකවලට බුහුමන් පුදකිරීමට ද නියමිතය. නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්ත උළෙල සඳහා ඇරයුම් ලබා ඇති පිරිස 8000 කි. ඒ සඳහා සහභාගී වන බව බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන බිම්ස්ටෙක් රටවල් නායකයන් සහ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගී වන බව තහවුරු කර තිබේ. මීට අමතරව මොරිෂස් අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් සහ කිරිගිස්ථාන් ජනාධිපති සූරොන්බේ ජීන්බෙකෝෆ් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට නියමිතයි. මෙම දිවුරුම් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ සභාපති ක්‍රිස්ටීන් ලැගාර්ඩ් හට ද ආරාධනා කර ඇති බව සඳහන් ය. මීට අමතරව ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වන මුකේශ් අම්බානි, ගෞතම් අදානි, රතන් ටාටා, අජේ පීරමල් මෙන්ම විදේශික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස් සහ ජෝන් චේම්බර්ස්ට ද මෙම අවස්ථාවට ආරාධනා කර ඇත. ඉන්දීය සුපිරි ක්‍රීඩා තරු වන පී ටී ඌෂා, ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ්, අනිල් කුම්බ්ලේ, ජවගාල් ශ්‍රීනාත්, හර්බජාන් සිං, බැට්මින්ටන් ක්‍රීඩිකා සයිනා නේවාල්, ජිම්නාස්ටික් ක්‍රීඩිකා දීපා කර්මකාර් යන අයට ද ආරාධනා ලැබී තිබුණි. සුපිරි දකුණු ඉන්දීය නළුවන් වන රජිනිකාන්ත් සහ කමල්හසන් මෙන්ම බොලිවුඩ් තරු වන කන්ඟනා රනෝට්, ශාරුක් ඛාන්, සන්ජේ ලීලා බන්සාලි සහ කරන් ජොහාර් යන අයට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උළෙලට ආරාධනා ලැබී තිබුණි. මීට අමතරව දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉකුත් වසරේ බටහිර බෙංගාලයේදී මියගිය භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් 50 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට ද මේ සඳහා ආරාධනා ලැබී ඇත. මෙම අවස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 10,000 කට වැඩි පිරිසක් යොදවා තිබේ. උත්සවයට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අගමැති අබ්දුල් හමීඩ් ඊයේ දිල්ලි ගුවන් තොටුපොළට ළඟා විය. උත්සවයට නිර්මාංශික ආහාර වට්ටෝරුවක් සකස් කර ඇති බවත් රසකැවිලි පිළියෙළ කරන බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.