ඇමති රාජිත ධුරයෙන් ඉවත් කරන්නැයි, ඉල්ලීමක්

ඇමති රාජිත ධුරයෙන් ඉවත් කරන්නැයි, GMOA ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 30-05-2019 | 8:15 PM
COLOMBO (News 1st) : සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම ධූරයෙන් වහා ම ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීම් කර තිබේ. රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටීම යනුවෙන් සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ අවධානය යොමු වූ කරුණු 3ක්, මෙම ලිපියේ දක්වා තිබේ. එහි පළමුවැන්න ලෙස සඳහන් කර ඇත්තේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් සම්බන්ධව සිදු වන පරීක්ෂණ සඳහා අමාත්‍යවරයා සෘජුව මැදිහත්වී එහි අධ්‍යක්ෂවරයාට අනිසි බලපෑම් කිරීම සහ විශ්වාසයක් තැබිය නොහැකි අන්දමින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමයි. විගණන වාර්තාවක් හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බිලයන ගණනක අක්‍රමිකතාවයන් හෙළිදරව්වීම, ප්‍රමිතියෙන් තොර හා කල් ඉකුත්වූ ඖෂධ මහජන පරිභෝජනයට නිකුත් කිරීම හා රෝගී ජීවිත අවදානමක හෙළීම ලිපියේ දක්වා ඇති දෙවන කරුණයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඖෂධ නියාමන අධිකාරියට අමාත්‍යවරයා සිදු කළ පත්වීම් නීති විරෝධී බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවද ඔහු ඉවත් කිරීමට අදාල කරුණක් බවයි. ඒ අනුව රාජිත සේනාරත්න මහාතා වහාම අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙසත්,එම ධූරය ජනාධිපතිතුමා යටතට පවර ගන්නා ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී. මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළි තේරී පත්වී තිබේ. ඔහු නැවත තෝරා පත්කරගෙන ඇත්තේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේදීයි.