ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව තමා දැනුවත්ව සිටි බවට පළ වන වාර්තා අසත්‍යයි - ජනපති

by Staff writer 30-05-2019 | 2:24 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමා දැනුවත් කිරීමක් සිදු නොවු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළ වන දේශිය විදේශීය මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. අප්‍රේල් 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරික්ෂා කර වාර්තා කිරීමට පාර්ලිමේන්තුව පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළව ඇති බව ද එම නිවේදනයේ සඳහන් විය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එකී මාධ්‍ය වාර්තා අනුව 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බව පැවසෙන බවයි. එහෙත්, ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනත් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පළවීම ඊට හේතු වූ බවයි. එම නිසා පිහිටු වූ ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වු බවත් ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා විසින් සතියකට වරක් එම රැස්වීම කැඳවූ බව ද අදාළ නිවේදනයේ දැක්වේ. එහි සඳහන් වන්නේ, අප්‍රේල් මස 08 වැනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ජනාධිපතිතුමා විසින් කැඳවනු ලැබු බවයි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී හෝ ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ඇතැයි කිසිදු නිලධාරියෙකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. එමෙන්ම අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ විදේශීය, මිත්‍ර රටක් ලබා දී තිබු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියෙකු විසින් ද ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබු බවයි.