පූජිත් ජයසුන්දරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

JUST IN : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

by Staff writer 29-05-2019 | 5:35 PM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යැවීමේ නියෝගය වළක්වන, අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඔහු එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ තමා යළි සේවයේ පිහිටුවන ලෙසයි. සාධාරණ හේතුවක් නොමැතිව තමා අනිවාර්ය නිවාඩු යැවීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , නීතිපතිවරයා සහ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි. 2018 ඔක්තෝම්බර් මාසයේ සිටම තමන්ට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාවක් නොලැබුණු බව පූජිත් ජයසුන්දර මහතා තම පෙත්සමේ සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ උපදෙස් පිළිබඳව ඔක්තෝම්බර් මුල් සතියේදී එවක සිටි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන් දැනුවත් කළ බවයි. රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට සෘජුව ජනාධිපතිවරයාට වාර්තා කරන ලෙස නියෝග කර තිබූ බවද පූජිත් ජයසුන්දර මහතාගේ පෙත්සමේ සඳහන් ය. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයක සූදානම පිළිබඳව තමන් මුලින්ම තොරතුරු දැනගත්තේ 2019 අප්‍රේල් මස 09 වන දා පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී බවයි. පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ලිපියකින් තමන්ට මේ සම්බන්ධයෙන් දැනුම්දුන් බවත් එම ලිපිය අදාළ ක්‍රියාමාර්ග සදහා ඉහළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට යොමු කළ බවත් පොලිස්පතිවරයා පෙත්සමේ සඳහන් කර තිබේ. එම නිලධාරීන් වන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, සංවිධානාත්මක අපරාධ හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා ත්‍රස්තවාදය වැළැක්වීමේ කටයුතු භාර අධ්‍යක්ෂවරයායි. දෛනික තත්ත්ව වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී පළාත් 9 යෙහි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද අප්‍රේල් 09 හෝ 10 මේ පිළිබඳව දුරකතනයෙන් දැනුම්දුන් බව පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.