මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මුදා හැරේ

උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මුදාහැරේ

by Staff writer 29-05-2019 | 9:31 PM
COLOMBO (News 1st) : මල්වාන, මල්වත්ත ප්‍රදේශයේදී උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් හසන් අලි මහතා මුදා හැර තිබේ. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. යුද හමුදාව සහ පොලීසිය අද උදෑසන මල්වාන, මල්වත්ත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී බෝර 12 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 93 ක් ඔහුගේ නිවසේ තිබී සොයාගත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හසන් අලි මහතාට අයත් සමීපව පිහිටි නිවාස දෙකේ වහලය සහ පියස්සක් අතර ස්ථානයක තිබී මෙම උණ්ඩ තොගය සොයාගත් බවයි. කෙසේ වෙතත් පතරොම් තිබූ ස්ථානය පිළිබඳව ඔහුගේ දැනුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමත් සමග හසන් අලී මහතා අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.