ජෝෂෆ් ඇලෝසියස් චෝදනාවලින් නිදහස් කරන්නැයි,ඉල්ලීමක්

අර්ජුන් ජෝෂෆ් ඇලෝසියස් චෝදනාවලින් නිදහස් කරන්නැයි, ඉල්ලීමක්

by Staff writer 29-05-2019 | 6:49 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් රහස්‍ය දත්ත උපයෝගී කරගෙන මහබැංකු බැඳුම්කර වෙන්දේසියකදී අයුතු ලෙස මුදල් උපයා ගත්තේ යැයි, චෝදනා කරමින් පවරා ඇති නඩුවේ දෙවැනි විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝෂෆ් ඇලෝසියස් මහතා එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ලිඛිත ඉල්ලීමක් කළේ ය. නීතිඥ සජිත ජයවර්ධන මහතා එම ඉල්ලීම කළේ, සැකකාර අර්ජුන ඇලෝසියස් මහතාට ශ්‍රී ලංකා මහබැංකුවේ සංවේදී තොරතුරු ලැබුණු බවට මේ දක්වා කරන ලද විමර්ශන අනුව නිශ්චිතව අනාවරණ වී නොමැති බව පෙන්වා දෙමිනි. එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන මස 28 වන දා විරෝධතා ඇත්නම් ලිඛිතව ගොනු කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට නියෝග කළේ ය. අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගම් සමුහයේ ලියාපදිංචි සභාපති ජෙෆ්රි ඇලෝසියස් , ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇතුළු 09 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳ වූ අවස්ථාවේදී නීතිඥවරයා එම ඉල්ලීම කළේ ය. නඩුව ලබන මස 28 වන දින යළි කැඳවීමට නියමිතයි.