ඉරානයෙන් බොරතෙල් ආනයනයට ඉන්දියාව සැරසෙයි

අමෙරිකාවේ තහනම මැද ඉරානයෙන් බොරතෙල් ආනයනයට ඉන්දියාව සැරසෙයි

by Staff writer 29-05-2019 | 12:55 PM
(News 1st): අමෙරිකාවේ තහනම මධ්‍යයේ වුවත් අඛණ්ඩව ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය මාධ්‍ය වැඩි දුරට ත් සඳහන් කළේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීම පිළිබඳ සාකච්ජා නොදුරේදීම අරඹනු ඇති බව ය . මේ මස මුලදී ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් නව දිල්ලි නුවර සංචාරයක නිරතවූ අවස්ථාවේදී නව රජය පිහිටුවීමෙන් පසු ඉරානයෙන් බොරතෙල් ආනයනය පිළිබඳ තීරණයක් ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ් ප්‍රකාශ කළේය . පසුගියදා පැවති මහා මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. අමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් 8කට ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට ලබා දුන් සහන කාලය ඉකුත් මැයි 2 දින අවසන් වූ අතර ඉන් පසු ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර කිරීමට ඉන්දියාවට සිදුවිය. ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දැක්වූ එරට මාධ්‍ය වාර්තා කළේ, රජය අමෙරිකාවේ මෙම සම්බාධකවලට එරෙහි බව ය . චීනයට පසු ඉරානයේ විශාලතම බොරතෙල් ගැණුම්කරු ඉන්දියාව වේ.