ඉන්දීය විමර්ශන කණ්ඩායමක් දිවයිනට

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනයට ඉන්දීය කණ්ඩායමක් දිවයිනට

by Staff writer 29-05-2019 | 1:07 PM
COLOMBO (News 1st): එන්.අයි.ඒ. හෙවත් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ. ඒ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් ඉන්දියාව සමඟ පැවති සබඳතා පිළිබඳ විමර්ශනය කිරිම සඳහායි. ඉන්දීය පොලිස් ප්‍රධානී ආලෝක් මිත්තල්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩාමේ අරමුණ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය හා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු මොහොමඩ් සහරාන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තයේ පුද්ගලයන් සමඟ පැවත්වු සබඳතා පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමයි. මේ තුළින් ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ඉන්දියාවට එල්ලවීම වැළැක්වීම ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අරමුණ වී ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී අනාවරණ වු පුද්ගලයන්ගේ නම්, දුරකතන අංක, සමාජ මාධ්‍ය ගිණුම් සහ සෙසු තොරතුරු පිළිබඳ දැන ගැනීම මෙම ඉන්දීය නිලධාරීන්ගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ. ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරුවන මොහොමඩ් සහරාන් පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාර පිළිබඳ තොරතුරු ශ්‍රී ලාංකික නිලධාරීන්ගෙන් ලබා ගැනීමට ද ඉන්දීය නිලධාරීන් අපේක්ෂා කරන බව, ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. සහරාන් හෂීම්, කලාපයේ ඉස්ලාමීය පාලනයක් ඇති කිරීමට ඉන්දියානුවන් පෙළඹවීමේ අරමුණින් කිහිපවරක්ම කේරල සහ තමිල්නාඩුවට පැමිණ ඇතැයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කළේය. ඔවුන් පවසන්නේ සහරාන් හෂීම් ගේ වීඩියෝ නැරඹීමෙන් ඉන්දීය තරුණයන් රැසක් අන්තවාදී මත දරන්නන් බවට පත්වූ බව විමර්ෂණ වලින් හෙළිවූ බව ය . එම තරුණයන් තව දුරට ත් ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වනවා ද යන්න මෙතෙක් හෙළිවී නොමැත. කොයම්බතූර් හිදී හමුවු අයි.එස්. ත්‍රස්ත ඒකකයකින් හෙළිවු තොරතුරු අනුව ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාර සහ සහරාන් හෂීම් ගේ ඉන්දීය සංචාර පිළිබඳ තොරතුරු හෙළිවූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඉකුත් අප්‍රේල් මස 28 දින මුල්වරට වාර්තා කළේය. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කොයම්බතූර් අයි.එස්. ත්‍රස්ත කල්ලියේ මොහොමඩ් ආශික් ඒ, ඉස්මයිල් එස්, සම්සුදීන්, මොහොමඩ් සලාවුදීන් එස්, ජාෆර් ශාඩික් අලි සහ ශාහුල් හමීඩ් යන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ හෝ ඔහුගේ වීඩියෝ නැරඹීමෙන් අන්තවාදී මතදාරීන් බවට පත්වූ මුස්ලිම් තරුණයන් බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය. මේ අතර ඉන්දියාවේ කසාර්ගොඩ් අයි.එස්. ත්‍රස්ත ඒකකයේ සාමාජකයකු වන රියාස් අබූබකර්, සහරාන් හෂීම්ගේ ෆේස්බුක් මිතුරකු බව ද ඉන්දියාව අණාවරණය කර ගෙන තිබේ. රියාස් අබුබකර්, කේරලයේ සහ තමිල්නාඩුවේ ඉන්දියානුවන් කිහිපදෙනෙකු සහරාන් හෂීම්ගේ වීඩියෝ නරඹා, අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුකර තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් ලෙස සැක කෙරෙන ඉන්දියානුවන් 6 දෙනෙකු ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර ඔවුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ය.