1996 ක්‍රිකට් ශූරයින් 2019දී කුමක් කරයිද?

1996 ක්‍රිකට් ශූරයින් වූ ශ්‍රී ලංකාව 2019දී කුමක් කරයිද?

by Chathuranga Rajapaksha 28-05-2019 | 4:16 PM

COLOMBO (News 1st):

1996 මුළු ලොවම මවිත කරවමින් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකාව, 2007 සහ 2011දී අනු ශූරයින් වූ ශ්‍රී ලංකාව, 2019 ලෝක කුසලානයේදී කුමක් කරයිද?

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මෙලෙස සිය අදහස් පල කළේය. නායක දිමුත් කරුණාරත්නත් එක්ක අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ මෙන්ම, අලුතින් එකතු වුණු ක්‍රීඩකයොත් සිටින අතර කණ්ඩායම තුළ හොඳ සංයුතියක් සකස් කළ කර ගත යුතු බව සනත් ජයසූරිය පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව ත් අනවශ්‍ය පීඩනයකින් ක්‍රීඩා නොකළ යුතු බව ත් ජයසූරිය සඳහන් කළේය. දිමුත් කරුණාරත්න විසින් කණ්ඩායම හොඳ මාර්ගයක රැගෙන යාවියැයි තමන් බලාපොරොත්තු වන බව ද සනත් ජයසූරිය වැඩි දුරට ත් සඳහන් කළේය. සනත් ජයසූරිය මෙම අදහස් පල කළේ, ස්පෝර්ට්ස් ෆස්ට්හි ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහන සමග එක්වෙමනි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් 5දෙනෙකු පන්දු යවන්නන් 4 දෙනෙකු සහ තුන්ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කර තිබේ. මුළු ලෝකයේම අවධානය දිනාගත් සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංග කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකියි. ලසිත් මාලිංග මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 2018කදී කඩුලු 322ක් ලබාගෙන සිටී. ශ්‍රී ලංකා සංචිතයේ අනිකුත් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙසේය. දිමුත් කරුණාරත්න - නායක (පිතිකරුවෙක්) තරග 18 ලකුණු 267 අර්ධ ශතක 2 අවිශ්ක ප්‍රනාන්දු (පිතිකරුවෙක්) තරග 6 ලකුණු 145 අර්ධ ශතක 1 කුසල් මෙන්ඩිස් (පිතිකරුවෙක්/කඩුලු රකින්නෙක්) තරග 63 ලකුණු 1692 ශතක 1 අර්ධ ශතක 15 කුසල් පෙරේරා (පිතිකරුවෙක්/කඩුලු රකින්නෙක්) තරග 88 ලකුණු 2283 ශතක 4 අර්ධ ශතක 11 ලහිරු තිරිමාන්න (පිතිකරුවෙක්) තරග 118 ලකුණු 2990 ශතක 4 අර්ධ ශතක 20 නුවන් ප්‍රදීප් (පන්දු යවන්නෙක්) තරග 35 කඩුලු 42 සුරංග ලක්මාල් (පන්දු යවන්නෙක්) තරග 82 කඩුලු 107 ජෙෆ්රි වැන්ඩර්සේ (පන්දු යවන්නෙක්) තරග 11 කඩුලු 10 ධනංජය ද සිල්වා (තුන් ඉරියව් - All Rounder) තරග 33 ලකුණු 688 අර්ධ ශතක 4 කඩුලු 15 ඇන්ජලෝ මැතිව්ස් (තුන් ඉරියව්) තරග 204 ලකුණු 5381 ශතක 2 අර්ධ ශතක 37 කඩුලු 114 ජීවන් මෙන්ඩිස් (තුන් ඉරියව්) තරග 55 ලකුණු 617 අර්ධ ශතක 1 කඩුලු 28 තිසර පෙරේරා (තුන් ඉරියව්) තරග 154 ලකුණු 2147 ශතක 1 අර්ධ ශතක 10 කඩුලු 170 මිලින්ද සිරිවර්ධන (තුන් ඉරියව්) තරග 26 ලකුණු 513 අර්ධ ශතක 3 කඩුලු 9 ඉසුරු උදාන (තුන් ඉරියව්) තරග 6 ලකුණු 125 අර්ධ ශතක 1 කඩුලු 3 චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කළ ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. පළමු තරගයට වර්ෂාවෙන් බාධා වුවත් දෙවන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය දක්ෂතා කලකට පසු පෙන්වමින් ලෝක කුසලානයට සුබ පෙර නිමිති පල කරන අයුරු දැකගත හැකිවිය. එහිදී ලකුණු 300 සීමාව පසු කරමින් පන්දුවාර 50 තුළදී කඩුලු 8කට ලකුණු 322ක් ලබා ගැනීමට සමත් විය. දිමුත් කරුණාරත්න ලකුණු 87ක්, යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් ලබා ගැනීම විශේෂ විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් කඩුලු 4ක් ලබා ගත්තේ ලෝක කුසලානයේදී දක්ෂතා පිළිබඳ ඉඟි පල කරමිනි. මේ අතර දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සමග පැවැති ලෝක කුසලානයේ පුහුණු තරග 2ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. නමුත් වෙනදා ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් දක්නට ලැබෙන දියාරූ ක්‍රීඩා විලාසය මෙම ලෝක කුසලාන කණ්ඩායම තුළින් අපට දක්නට නොලැබිණි. පුහුණු තරග 2 තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග විවේක ගන්වා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුණි. දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණි අතර නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ පන්දුවෙන් දස්කම් දැක්විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මෞලි මංගල්‍යය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සහ වේල්සය කෙන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ඇත්තේ තව ත් හරියටම දින දෙකක් පමණි. පසුගිය වසර කිහිපය තුළ යොවුන් කණ්ඩායමක් එක්රොක් කර ගනිමින් සකස් කළායැයි බලධාරීන් පැවසු සැලසුම්වල නිසි ඵල ප්‍රයෝජන මෙවර ලෝක කුසලානයේදී අපහට නෙලාගත හැකි වේදැයි කියා අප තව දුරට ත් බලා සිටින්නෙමු. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පසුගිය 7 වනදා දිවයිනෙන් පිටත්ව යාමට පෙර නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ සඳහන් කළේ, මෙය වසර 4කට වරක් එන අලුත් බලාපොරොත්තුවක් බව ය. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට සහය දක්වන්නැයි ඔහු එහිදී ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වගේම තම කණ්ඩායමේ පමණක් නොව මුළු රටේම බලාපොරොත්තුව ලෝක කුසලානය බව ද දිමුත් කරුණාරත්න වැඩිදුරට ත් සඳහන් කළේය. ඒ, බලාපොරොත්තුවේ යුතුකම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රට වෙනුවෙන් ඉටු කරන තුරු ක්‍රීඩා ලෝලීන් ලෙස අපි බලා සිටින්නෙමු..!!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!