වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 146ක්

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 146ක්

by Staff writer 28-05-2019 | 6:44 PM
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව මේ වන විට පැමිණිලි‍ 133කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහල් බලධාරීහු පවසති. දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 13කි. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඉතා කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරන බව ය. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා පසුගිය 24 වන දා රහසිගත පොලිස් විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු අතර, මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ. සැකකාර වෛද්‍යවරයා සිදු කළ බව කියන සැක කටයුතු සැත්කම් පිළිබඳව පැමිණිලි කිරීමට අදත් විශාල පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණියහ. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆී මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සය පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එහි ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇති බව ය. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ එල්.ඒ. බස්නායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන යන මහත්වරුන් එහි කමිටුවේ සෙසු සාමාජිකයින් ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ය. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මගින් ළදරුවෙකු වෙනත් පාර්ශවයකට ලබා දීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරිය පැවසුවේ, ඒ සඳහා සිදු කෙරෙන විමර්ශන කටයුතු වෙනුවෙන් අද දිනයේ කණ්ඩායමක් කුරුණෑගල රෝහල බලා පිටත්ව ගිය බව ය. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ පරීක්ණ කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ සියලු වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරයි එම වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව රෝහල සුරැකීමේ කමිටුවක් අද පිහිටුවා ගත් අතර එහිදී සකස් කළ පොදු එකඟතාවක් රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලබා දුන්නේ ය. මේ අතර අද කුරුණෑගල ප්‍රදේවාසීන් හා ආගමික නායකයෝ රෝහලේ අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඒ, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශවලට විරෝධය පළ කරමිනි. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මෙම විරෝධතාව පැවැත්වෙන අතරතුර නගරයේ ඇතැම් වෙළෙඳ සල් වසා දමා තිබුණු බව ය. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා පිළිබඳව මේ වන විට පැමිණිලි‍ 13ක් පමණ දඹුල්ල මහ රෝහලට ද ලැබී තිබේ. එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම පැමිණිලිකාරියන් ඉදිරි කටයුතු සඳහා පොලීසිය වෙත යොමු කළ බව ය. කුරුණෑගල ශික්ෂණ රෝහලට පෙර වසර කිහිපයක් සැකකාර වෛද්‍යවරයා මෙම රෝහලේ ද සේවයේ නිරත විණි.