COLOMBO (News 1st) : විල්පත්තු වන විනාශය පිළිබඳව පවරා ඇති නඩුව ජුලි මස 31 වැනිදා සිට නැවත මුලසිට විභාග කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනු කර තිබුණේ, විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත ඉඩම් අක්කර සිය ගණනක නීති විරෝධී අන්දමින් ජනයා පදිංචි කිරීමට දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
2015 වසරේ ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබුණි.
නඩු විභාගය පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන් වී තිබූ අතර, තීන්දුව නිකුත් කිරිම මින් පෙර අවස්ථා 04 කදීම කල් දැමීමට එය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තමා අකමැති බව දන්වමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විනිසුරු මඬුල්ලෙන් ඉවත් වීම හේතුවෙන් නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මඬුල්ලක් පත් කෙරිණි.
ඒ, අනුව ජනක් ද සිල්වා සහ නිශ්සංක බන්දුල කරුණාරත්න යන නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද යළිත් කැඳවනු ලැබිණි.
පැමිණිලි පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා
ගරු විනිශ්චයකාරතුමා දන්වලා තියෙනවා අභියාචනාධිකරණයේ ගරු විනිසුරුතුමාට සභාපති විනිසුරුතුමා ඒ අනුව පියවර ගෙන තිබුණා පාර්ශවකරුවන්ට අධිකරණයට කැඳවලා ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න. ඒ අනුව නැවත මේ සංවේදී කාරණය නැවත මුලසිට වාද කරන්න සිදුවෙනවා ඇත්ත වශයෙන් නැවත විභාගයක් කරන්න සිදු වෙනවා. අභියාචනාධිකරණයේ වෙනත් මණ්ඩලයක් හමුවේ. ඒ සඳහා දින නියම කිරීමට අද දිනයේ අධිකරණයේදී මේ නඩුව කැඳවූවා. අධිකරණ නියෝගය පරිදි අපිට නැවතත් සිදුවෙනවා මේ නඩුව මුල සිට වාද කරන්නට වාද කිරීම සඳහා දැනට නියම කෙරුවා. ජුලි මස 31 වෙනි දිනට.