රාජ්‍ය විරෝධී ලිපි සැකසූ සැකකරුවන් යළි CCD භාරයට

රාජ්‍ය විරෝධී ලිපි සැකසූ බව කියන සැකකරුවන් යළි කොළඹ අපරාධ කොට්ඨාසයට

by Staff writer 28-05-2019 | 9:08 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරයාට අපහාස වන හා මහජන ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ වැකි ඇතුළත් ලිපි 600ක් විහාර ස්ථානවලට තැපැල් කර යැවීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 3 දෙනා අද යළිත් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලැබුවේ ය. ඒ, නිරීක්ෂණය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඔවුන් අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයට මීට පෙර භාර දී තිබිණි. හදිසි නීති රෙගුලාසි හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ ය. විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරුවන් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස ය. මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. පසුගිය 2 වන දා රාජ්‍ය විරෝධී වැකි සහිත ලිපි සමග පිරිස අත්අඩංගුවට ගැනුණේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී ය. අප්‍රේල් 21 වන දා ප්‍රහාරය සහ ඊට වගකිව යුත්තන් පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරයට එමගින් උත්සහ දරා ඇති බව හෙළිවී තිබේ. සැකකරුවන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් බව ද අනාවරණය විය.