මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට කලාප නායකයින් රැසක්

මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට කලාපයේ නායකයින් රැසකට ආරාධනා

by Staff writer 28-05-2019 | 7:02 AM
COLOMBO (News 1st) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට බිම්ස්ටෙක් රටවල නායකයන්ට ආරාධනා කර තිබේ. බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල් වන්නේ බංග්ලාදේශය , ඉන්දියාව  ,මියන්මාරය , ශ්‍රී ලංකාව , තායිලන්තය , නේපාලය සහ භූතානයයි. මීට අමතරව ලබන 30 වනදා පස්වරු 7 ට නව දිල්ලි නුවර රාශ්ට්‍රපතිභවන්හි පැවැත්වෙන මෙම අවස්ථාවට , කිර්ගිස්ථානය සහ මොරිෂස් රාජ්‍ය නායකයින් ද ආරාධනා ලැබ තිබේ. බෙංගාල බොක්ක කලාපයේ රටවල්වලින් සමන්විත බිම්ස්ටෙක් සංවිධානයේ අරමුණ දකුණ සහ ගිනිකොණ දිග ආසියානු කලාපය සම්බන්ධකරන පාලමක් ලෙස කටයුතු කිරීමයි . කෙසේ වෙතත් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත මේ සඳහා ආරාධනා ලැබී නොමැත. මෙමගින් ඉන්දියාව තවමත් පකිස්ථානය සමඟ පළුදු වූ සබඳතා තරකරගැනීමට අපේක්ෂා නොකරන බව හෙළිකෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. 2014 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දෙන විට නරේන්ද්‍ර මෝදි  ,එවකට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ශරීෆ් ඇතුළු සාක් රටවල නායකයන්ට එම අවස්ථාවට ආරාධනා කළේ ය. එම වසරේදී නවාස් ශරීෆ් සහ නරේන්ද්‍ර මෝදි අතර සබඳතා වර්ධනය වූ නමුත් පකිස්ථානයෙන් ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට අවස්ථාවක් හිමිනොවී ය. කෙසේ වෙතත් ඉන්දීය සෙබළුන් පිරිසක් පකිස්ථාන ත්‍රස්ත ප්‍රහාරයකින් මියයාමත් , ඉන්දියාව ඊට ප්‍රතිචාර ලෙස පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමත් හමුවේ දෙරට අතර සබඳතා මේ වනවිට පළුදුවී තිබේ. අසල්වැසි රාජ්‍යයන්ට මුල්තැන දීම යන ප්‍රතිපත්තිය යටතේ නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දීමේ අවස්ථාවට බිම්ස්ටෙක් රටවලට ආරාධනා කළ බව සඳහන් ය . බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශීක් හසීනා අද සිට ජපානය සහ ෆින්ලන්තය ඇතුළු රටවල් හතරක සංචාරය ඇරඹීම හේතුවෙන් දෙවන වරටත් නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උළෙලට සහභාගී වීමට ශෙයික් හසීනාට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. මියන්මාරය නියෝජනය කරමින් මෙම අවස්ථාවට අවුන් සාන් සුචී සහභාගීවනවා ද , ජනාධිපති වින් මින්ට් සහභාගී වනවා ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. තායිලන්තය එරට නියෝජනය කරමින් විශේෂ නියෝජිතයකු එවීමට නියමිතයි. නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ශර්මා ඔලි සහ භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ශෙරින්ග් ද නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වන බව සඳහන් ය. බිම්ස්ටෙක් රටක් නොවන බැවින් මාලදිවයින් රාජ්‍ය නායකයන්ට මේ සඳහා ආරාධනා ලැබී නැති නමුත් අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දීමෙන් පසු ලබන සතියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරයක නිරතවීමට නියමිතයි . මීට අමතරව දෙමළ සිනමාවේ සුපිරි තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන්ට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිව්රුම් දීමේ උළෙලට සහභාගී වීමට ආරාධනා ලැබී තිබේ. තෙලංගානා ප්‍රධාන අමාත්‍ය කේ. චන්ද්‍රසේකර් රාඕ සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ධූරයට නම් කර ඇති වයි. එස්. ජගන් මෝහන් රෙඩ්ඩි ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි .