නැ. පර්යන්තය සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ

by Staff writer 28-05-2019 | 10:29 PM
COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේ දිනවල රටේ වැඩි අවධානයක් යොමුව තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව කතාබහ යළි මතු වූයේ මෙම පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවට පසුගියදා රොයිටර් පුවත් සේවය කළ අනාවරණයත් සමග ය. මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. නමුත් කැබිනට් ආරංචි මාර්ග පවසන්නේ, මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම සති දෙකකට කල් දැමුණු බව ය. එමෙන් ම මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර අවසාන කෙටුම්පත නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වේ. නමුත් අද සවස ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා නියෝජිතයින් එක්ව මේ සඳහා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වරාය අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති මීට සිය විරෝධය පළ කළේ ය. වෘත්තීය සමිති සඳහන් කළේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් රජය හෙළිදරව් කළ යුතු බව ය.