by Staff writer 28-05-2019 | 10:22 AM
COLOMBO (News 1st) : කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවේ, සාමාජිකයින් 6 දෙනෙකුගෙන් එම විද්වත් කමිටුව සමන්විත වන බවයි.
ඒ සඳහා සිදුකෙරෙන විමර්ශන කටයුතු වෙනුවෙන් අද දිනයේ කණ්ඩායමක් කුරුණෑගල රෝහල බලා පිටත්ව යාමට නියමිත බව ලේකම්වරිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව, මේ වන විට පැමිණිලි 51 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් 46 ක් ඊයේ දිනය තුළ පමණක් ලැබී ඇති බවයි.
ඒ අනුව, අද දිනය තුළත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි රෝහල් බලධාරීන් වෙත යොමු කිරිමට අවස්ථාව ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පැමිණිලි සටහන් කරගැනීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පරිපාලන නිලධාරීන්, ඇතුළු කණ්ඩායමක් අනියුක්ත කර ඇති බවයි.
ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන්, රෝහල් අභ්‍යන්තර පරික්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක බව ද සරත් වීර බණ්ඩාර මහතා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ ය.
මේ අතර අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 15 කට අධිකයි.
පොලීසිය සඳහන් කළේ, අදාළ පැමිණිලි ගොනු ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවයි.
ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් පසුගිය 24 වෙන දා අත්අඩංගුවට ගැනුණේ, රහසිගත පොලිස් විමර්ශනයකින් අනතුරුවයි.
කෝටි 40 ක අධික වත්කමක් ඔහු සතු බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.