බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්

by Staff writer 28-05-2019 | 6:28 AM
COLOMBO (News 1st) : මඩකළපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්  ආයතනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව, අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ, ආයතනයේ විසින් ඉදිරිපත් කරන ලද ණය ගිවිසුම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් එම ගැටලු පැන නැගී ඇති බවයි. මෙම ආයතනය ඉදි කිරිම කටයුතු සඳහා, සෞදි අරාබියේ පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ගිවිසුම්වලට එළැඹ ඇති බවට මේ වන විට අනාවරණ වී තිබේ. නමුත්, අදාළ ආයතනයට බැංකු ණය ලබා ගැනීමේදී එම කරුණු කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද, අනාවරණ වු බව ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන අතර ඒ සඳහා ජාත්‍යන්තර සහ ලබාගැනීමට ද අපේක්ෂා කරන බවයි. මඩකලපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය ආයතන 5 ක් ඊයේ දිනයේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබිණ. ඒ ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බංකුව, ආයෝජන මණ්ඩලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශයේ ලේකම්වරුන් ය.