ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි අපේක්ෂා කරනවා - ජනපති

by Staff writer 27-05-2019 | 4:35 PM

COLOMBO (News 1st) - රටේ ආරක්ෂක තත්ත්වය 99% ක් යහපත් බවට තමාට සහතික විය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදු කළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බවයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ විදෙස් තානාපතිවරුන් හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළ බවයි. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් මෙම හමුවට සහභාගි විය. ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් 21 සිදුවීමත් සමග සංචාරකයන් සඳහා පනවා ඇති බාධක ඉවත් කර ගැනීමට සහය වන්නැයි ද ජනාධිපතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ශ්‍රී ලංකාවට පැමිණීමේදී සිය රටවල් සංචාරකයන් සඳහා පනවා ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බව තානාපතිවරුන් එහිදී ප්‍රකාශ කර තිබේ. හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ, ආරක්ෂක අංශ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ පියවර ගත් බවයි. නැවත හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. මෙවැනි සාහසික ප්‍රහාර නැවත ඇති නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පවතින බවත් නව නීති සම්පාදනය හා නව ආයතන ව්‍යුවහයන් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිතුමා තානාපතිවරුන්ට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.