by Staff writer 27-05-2019 | 1:05 PM
COLOMBO (News 1st) : වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධීකරණය අද නියෝග කළේ ය.
පොලිස්පතිවරයාගේ නියෝග මත මොවුන් පිළිබඳ විමර්ශන තම කොට්ඨාසය විසින් ආරම්භ කරනු ලැබ ඇතැයි ත්‍රස්ත වීමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කියා සිටියේ, කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදි කටයුතුවලට ආධාර අනුබල දුන් බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම මොහු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග සමිප සබඳතා පවත්වා ඇති බව ද පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
සෙසු පුද්ගලයින් ද ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇතත් එම කරුණු තහවුරුවී නොමැති බැවින් එම කරුණු තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ, දැනට ඇප මත සිටින සැකකරුවන් 9 දෙනාට හෙට සිට ලබන මස පළමු වන දා දක්වා කාලය තුළ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙසයි.
ලබන 10 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ඔවුන්ට නියෝග කෙරිණ.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කරන බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වනු ලැබී ය.