ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම මහේල ඉවත දමයි

ලෝක කුසලාන පිලට සහය දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි

by Chathuranga Rajapaksha 27-05-2019 | 7:55 PM

Colombo (News 1st): ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග කළමනාකරුවෙකු ලෙස එක්ව කටයුතු කරන ලෙසට හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

තමන්ට ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ කළමනාකරණ තනතුරක් සඳහා ආරාධනාවක් ලැබුණ බව ත්, තමන් මෙම කාලය වනවිට මීට පෙර යොදාගත් වෙනත් කාර්යන් කිහිපයක් හේතුවෙන් හා තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ඇති අවිශ්වාසය හේතුවෙන් මෙලෙස එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහේල ජයවර්ධන සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, මහේල පෙන්වා දෙන්නේ තමාගෙන් මෙම අවස්ථාවේ බලාපොරොත්තු වන සේවය කුමක්දැයි තමාට අවබෝධ කර ගත නොහැකි බව ය. මේ වනවිට ලෝක කුසලානයට අවශ්‍ය සියල්ල සිදු කර අවසන් බව ත්, තමාට සිදු කිරීමට යමක් ඉතිරි වී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ. මහේල ජයවර්ධන මෙලෙස අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ,මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ අදහස්, යෝජනා, නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියයි. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් ද මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණේය. මාස 8ක් වැය කරමින් සකස් කළ වෘත්තීමය ක්‍රිකට් ක්‍රමවේදයක් සහිත නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේ කළ බව මහේල පෙන්වා දෙන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමන්ගෙන් මෙම ඉල්ලීම සිදුකළ බව මහේල සඳහන් කළේය. ඔහු කියා සිටියේ මෙරට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් විදෙස්ගත වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමවේදය සකස් කළ බව ය. තමන් මෙරට ක්‍රිකට් ආයතනය සමග කිසිඳු ගනුදෙනුවක් කිරීමට අකමැති බව මෙම සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ. මහේල ජයවර්ධන මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මීට පෙර ඔහු එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළේය. මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට අවස්ථා දෙකකදී ම අයි.පී.එල් ශූරතාවය හිමි කර ගෙන තිබේ.