බැටික්ලෝ කැම්පස් රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැයි තිලංග සුමතිපාලගෙන් යෝජනාවක්

by Staff writer 27-05-2019 | 8:43 PM

COLOMBO (News 1st) - බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, එක්සත් ජනාතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතායි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඒ බව තහවුරු කළේ ය. එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ දැක්වෙන්නේ, බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම පිළිබඳව අවධානය යොමුකර ඊට විසඳුමක් ලබාදීම ජාතික අවශ්‍යතාවක් බවයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති බැරූරුම් තත්ත්වය හමුවේ බහුතර ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී මෙවන් අවස්ථාවන් ඇති නොවීමටත් පියවර ගත යුතු බව සුමතිපාල මහතා සඳහන් කර තිබේ. එමෙන්ම අන්තවාදී මත දරන සුළු පිරිස්වලින්, ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමට බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු බව තිලංග සුමතිපාල මහතා මෙම යෝජනාවෙන් ප්‍රකාශ කර තිබේ.