දෙහිවල බෝම්බකරුගේ ඥාතියා රිමාන්ඩ්

දෙහිවල බෝම්බකරුගේ ඥාතියෙකු වන ෂෙයික් ෆායිම් ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ්

by Staff writer 27-05-2019 | 6:04 PM

COLOMBO (News 1st) - දෙහිවල ටොපිකල් ඉන් හෝටලය තුළදී බෝම්බ පුපුරාවා ගත් ත්‍රස්තවාදියාගේ සමීප ඥාතියෙකු යැයි කියන ෂෙයික් ෆායිම් නිසාම් ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වසර 20 කට ආසන්න කාලයක් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සමීප සබඳතා පවත්වා ඇති බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත. ඔහු සෙසු බෝම්බකරුවන් සමග ද දුරකතන මගින් සම්බන්ධ වූ බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව පැහැදිලි වන බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ය. පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ, ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කළ බවයි. පසුගිය 22 වැනි දා වැල්ලම්පිටිය පොලීසිය විසින් ෂෙයික් ෆායිම් නිසාම් අත්අඩංගුවට ගත්තේ ය. මේ අතර ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනා සමග සමීප සබඳතා පැවැත් වූ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුසල් නැමැත්තා ලබන 22 වැනි දා අධිකරණයේ නිරීක්ෂණය සඳහා යළි ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය අද බම්බලපිටිය පොලීසියට නියෝග කළා ය. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා ගත් දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.