කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ජපාන, ඉන්දියා, ශ්‍රී ලංකා හවුල් සමාගමක්

by Staff writer 27-05-2019 | 8:14 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමේ සූදානම් පිළිබඳව අප ඊයේ කරුණු අනාවරණය කළෙමු.

මේ සම්බන්ධයෙන් වරාය අධිකාරිය අද පැහැදිලි කිරීමක් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට සූදානම් වන බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයෙන් තහවුරු වේ. අධිකාරිය පැවසූවේ, යෝජිත සහයෝගිතා ගිවිසුම අනුව ජාතික අවශ්‍යතා පවත්වාගැනීම හා තවදුරටත් පුළුල් කිරීමත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග මනා සබඳතාවක් ස්ථාපනය කර ගැනීමත් අපේක්ෂා කරන බවයි. මෙම සහයෝගිතා ගිවිසුම මගින් නැගෙනහිර පර්යන්තයේ හිමිකාරිත්වය 100 % ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බව නිවේදනයේ සඳහන් විය. මේ යටතේ පර්යන්ත මෙහෙයුම් සමාගම නමින් නව සමාගමක් ආරම්භ කෙරෙන අතර එහි 51% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතුයි. සෙසු පාර්ශවවලට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49% ක් බව වරාය අධිකාරිය පවසයි. මෙහිදී ජපානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් සමන්විත බව වරාය අධිකාරියේ පැහැදිලි කරයි. නමුත් තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින නිසා එම කොන්දේසි ඔවුන් අනාවරණය කර නැත. සීඝ්‍රයෙන් වෙනස් වන තරගකාරී ගෝලීය නැව් භාණ්ඩ වෙළෙඳාමට සරිලන ලෙස වරාය ධාරිතාව පුළුල් කිරීමත් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමත් සිදුවිය යුතු බව වරාය අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.