කුරුණෑගල වෛද්‍ය සාෆි ගැන පැමිණිලි 45 ක්

by Staff writer 27-05-2019 | 7:29 PM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැත්තා පිළිබඳව මේ වන විට පැමිණිලි‍ 45 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රෝහල් බලධාරීන් පවසති.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද දිනයෙත් පැමිණිලි 35 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ බවයි. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් පසුගිය 24 වෙනි දා අත්අඩංගුවට ගැනුණේ රහසිගත පොලිස් විමර්ශනයකින් අනතුරුවයි. කෝටි 40 ක අධික වත්කමක් ඔහු සතු බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අදාළ වෛද්‍යවරයාගේ නමට ඇති ඉඩම් ඔප්පු 17 ක් සොයා ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ, එම ඉඩම් කුරුණෑගල අවට ප්‍රදේශවල පිහිටා ඇති බවයි. මේ අතර සැකකාර වෛද්‍යවරයා නීති විරෝධි වඳ සැත්කම් කර ඇති බවට වන පැමිණිලිවලින් 4 ක් ඔහු සමග සේවය කළ වෛද්‍යවරුන් විසින් ගොනු කර තිබීම විශේෂත්වයකි. සෙසු පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ, වයස අවුරුදු 28 - 35 ත් අතර වයසේ පසුවන කාන්තාවන් ය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව ඇතුළු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සියලු වෘත්තිය සමිති අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. අද කුරුණෑගල රෝහල වෙත පැමිණි පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් සෙයිගු සියාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳ පරීක්ෂණවලට බලපෑම් එල්ලවී ඇති බව ප්‍රකාශ කළේ ය. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් කුරුණෑගල ශික්ෂණ රෝහලට පෙර සේවය කළ දඹුල්ල රෝහලට ද අද මවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම සැකකාර වෛද්‍යවරයා 2013 වර්ෂයේ පෙබරවාරි 26 වෙනි දා කුරුණෑගල රෝහලේ සිට දඹුල්ල මහ රෝහලට පැමිණ ඇත. 2015 වසරේ ජුලි මස 3 වන දා ඔහු සේවයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමටයි. පසුව 2016 වසරේ ජුලි මස 19 වන දා ඔහුව සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් මගින් නැවතත් දඹුල්ල රෝහලට අනියුක්ත කරමින් සේවයේ පිහිටුවා තිබේ. 2017 වර්ෂයේ පෙබරවාරී 02 දක්වා ඔහු එම රෝහලේ සේවය කර ඇති අතර වාර්ෂික ස්ථාන මාරුවක් ලබා ගනිමින් කුරුණෑගල මහ රෝහලට පැමිණ ඇත.