කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

සැක කටයුතු ලෙස වත්කම් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

by Staff writer 25-05-2019 | 8:49 AM
COLOMBO (News 1st) - සැක කටයුතු වත්කම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති 42 හැවිරිදි වෛද්‍යවරයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු කුරුණෑගල නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ, මොහු විසින් සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බව ය. ඒ අනුව ඔහුට වත්කම් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මෙම වෛද්‍යවරයා පසුගිය මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අයෙකි. කුරුණෑගල මහ රෝහලේ නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට පසුගියදා චෝදනා එල්ල වූයේ ද මෙම වෛද්‍යවරයාට බව වාර්තා වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස්. වීරබණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට අදාළ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් මේ වන විට ලැබී ඇතැයි ද වෛද්‍ය ඒ.එම්.එස්. වීරබණ්ඩාර මහතා සඳහන් කළේ ය. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට මූලික විමර්ශනයක් සිදු වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මූලික විමර්ශනයෙන් අනතුරුව සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරිය වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ය. විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව අවසන් නිගමනයකට එළැඹීම සාධාරණ නොවන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දෙන ලෙස ද අධ්‍යක්ෂවරයා ජනතාවට දැනුම් දෙයි.