පළමු පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාවට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාවට

by Staff writer 25-05-2019 | 7:52 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව කාඩිෆ්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 338කි. එයිඩන් මාක්රම් ලකුණු 21ක් රැස් කළ අතර හෂීම් අම්ලා ලකුණු 65ක් රැස් කළේ ය. නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 88ක් සහ රසී වැන් ඩර් ඩසන් ලකුණු 40ක් රැස් කළ අතර ජේ.පී. ඩුමිනි ලකුණු 22යි. ඇන්ඩිල් ෆිලෙක්වායෝ ලකුණු 35ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩ්වේන් ප්‍රටෝරියස් ලකුණු 25ක් සහ ක්‍රිස් මෝරිස් ලකුණු 26ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් දවා ගත්හ. ඉසුරු උදාන ලකුණු 42කට එක් කඩුල්ලක් බිඳ හෙළමින් හොඳ පන්දු යැවීමක් ප‍්‍රදර්ශනය කළ ද ඔහු යැවූ අවසන් පන්දුවේදී පන්දුව අතෙහි වැදී ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් විය. එමෙන් ම ඊට පෙර අවිශ්ක ප‍්‍රනාන්දු ද පිටියෙන් ඉවත් වුණේ, පාදයේ අබාධයකට ලක් වීම හේතුවෙනි. අනතුරුව ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 251ක් පමණි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 87ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස් කළහ. කුසල් මෙන්ඩිස් ලකුණු 37යි. ළහිරු තිරිමාන්න ලකුණු 10ක් රැස් කළ අතර ජීවන් මෙන්ඩිස් ලකුණු 18ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ඇන්ඩිල් ෆිලෙක්වායෝ ලකුණු 36ට කඩුලු 4ක් දවා ගත් අතර ලුන්ගි ඉන්ගිඩි කඩුලු 2ක් දවා ගත්තේ ය. මේ අතර පුහුණු තරගයේදී ආබාධයකට ලක් වූ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු සහ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදාන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නායක දිමුත් කරුණාරත්න පවසා තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ, ඔවුන් දෙදෙනාම දෙවන පුහුණු තරගය සඳහා ක‍්‍රීඩා කරනු ඇති බව ය. මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 27 වන දා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.