රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍යයි - ජනපති

by Staff writer 25-05-2019 | 4:48 PM

COLOMBO (News 1st) - රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේදී සියලු පාර්ශවයන්ගේ සහය ඊට අවශ්‍ය බවයි. ජාතික ආරක්ෂක තත්ත්වය පිළිබඳ සමාලෝචන සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. සියලු පාර්ශවයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපතිතුමා මීට පෙර තීරණය කර තිබුණි. එහි පළමු රැස්වීම ඊයේ පැවැත්වුණේ, සර්ව ආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් අදහස් දක්වමින්, මෙම සිදුවිමේදී රටේ ජාතික සමගිය තහවුරු කිරීමට සියලු දෙනාට පුළුල් වගකීමක් පැවරී ඇති බව පෙන්වා දුන්නේ ය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ද මෙහිදී අදහස් දැක් වූ අතර ත්‍රස්ත සිදුවීම ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකමක් බැවින් ජාත්‍යන්තර බුද්ධි අංශවල සහයෝගය ලබා ගනිමින් එහි ක්‍රියාකාරීත්වය වැළැක්වීමට ගෙන තිබෙන පියවර පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.