ඉන්දියාවට හා ජපානයට කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තයකට රජයෙන් සැලසුම් ?

by Staff writer 25-05-2019 | 8:18 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රජය, ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධව කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ නව පර්යන්තය, ශ්‍රී ලංකා චීන සහයෝගිතා ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය ආසන්නයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. චීනය මෙරට වැඩි වශයෙන් සිදු කරන ආයෝජනවලට පිළිතුරක් ලෙස මෙම පර්යන්තය ඉදිකිරීමට ජපානය හා ඉන්දියාව උත්සහ කරන බව ද රොයිටර් වාර්තාවේ සඳහන් විය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මූලාශ්‍ර උපුටා දක්වන අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නව ව්‍යාපෘතියට අදාළ මූලික සැලැස්ම සහිත ගිවිසුමකට නුදුරේදීම අත්සන් කිරීමට නියමිත බවයි. ජපාන තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ද අදාළ නව පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා සිදු කරන බව තහවුරු කර තිබේ. අදාළ ව්‍යාපෘතියට වැය වෙතැයි අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් බව ද රොයිටර් වාර්තාවේ සඳහන් විය. එම මුදල 0.1% ක පොලි අනුපාතයක් යටතේ, වසර 10 ක සහන කාලයක් ද සහිතව අවුරුදු 40 කින් ගෙවිය හැකි සහන ණයක් ලෙස ජපානයෙන් ලබාදීමට නියමිත බව ද අදාළ පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඉදිවන පර්යන්තය පාලනය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය එක්ව හවුල් ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් පර්යන්තයේ බහාලුම් මෙහෙයුම් සිදු කරන ආයතන නම් කිරීමේ හැකියාව ඉන්දියාව හා ජපානයට හිමිවන බවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනු ඇත. අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඉන්දියාව හා ජපානය සමග මෙලෙස ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් බවයි. මීට පෙර නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම උත්සහ කළ අතර එය ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අවලංගු කෙරුණි. මේ පිළිබඳව අප වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය ලේකම්, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව නිසි සොයා බැලීමකින් අනතුරුව පිළිතුරක් ලබාදිය හැකි බවයි. වරාය අධිකාරියේ වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ, අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වාරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබියදී එම අවස්ථාව ඉන්දියාවට හා ජපානයට පිරිනැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.