රාහුල් ගාන්ධි ඉල්ලා අස්වෙයි ද?

මැතිවරණ පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

by Staff writer 24-05-2019 | 7:04 PM

News 1st - මහ මැතිවරණයේදී මුහුණ දුන් දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් කොංග්‍රස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රන්දීප් සිං සර්ජිවාල්, රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, පරාජයේ වගකීම භාර ගනිමින් තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන බව කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවී රාහුල් ගාන්ධි මහතා සඳහන් කර ඇති බවයි. කෙසේ වෙතත් හෙට පෙරවරුවේ දිල්ලි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන කොංග්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී පක්ෂයට වැදගත් විශේෂ තීරණය ගණනාවක් ගැනීමට නියමිත බව ඇතැම් වාර්තාවල සඳහන් විය. මේ අතර ඊයේ සිදු වූ පරාජයෙන් පසුව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රාන්ත හා ප්‍රාදේශිය නායකයින් ගණනාවක් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දැවැන්ත පසුබෑම හමුවේ කොංග්‍රස් පක්ෂයේ එම ප්‍රදේශයේ නායක රාජ් බබර් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. 1967 සිට ගාන්ධි පරපුරේ ප්‍රබල බලකොටුවක් වූ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමති අසුන රාහුල් ගාන්ධි පරාජයට පත් විණි. කෙසේ වෙතත් රාහුල් ගාන්ධි කේරල ප්‍රාන්තයේ වයනාද් අසුන නියෝජනය කරමින් මෙවර ලෝක් සභාවට පිවිසෙනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය. අමෙති ආසනයේ පරාජය භාර ගනිමින් ප්‍රදේශයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානී යෝහේන්ද්‍ර මිශ්‍රා සිය තනතුරින් ඉල්ලා අස්විය. මීට අමතරව කර්නාටක ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු එච්.කේ. පටෙල් ද සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. මේ අතර මැතිවරණ ප්‍රතිඵලවලින් ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රථම වරට භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය පහතට ඇද දමමින් වයි.එස්.ආර්. කොංග්‍රස් නමැති පක්ෂය ජයග්‍රහණය කරමින් එහි නායක ජෙගන් මෝගන් රෙඩ්ඩි ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්වීමට නියමිත වේ. මේ අතර සුප්‍රසිද්ධ මහ ඇමතිවරයෙකු වන චන්ද්‍රබාබු නායිදු දැවැන්ත පසුබෑමට ලක්වෙමින් අන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිධූරය අහිමී වී තිබේ. ඊයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකි වුයේ ලෝක් සභා ආසන 92ක් පමණි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතිය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 351 ක් හිමි කර ගත්තේ ය. මේ අතර ලෝක රාජ්‍ය නායකයින් රැසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබේ.