බදුරලියේ පාසල් බෝම්බ බිය ඇති කළ සැකකරු අත්අඩංගුවට

by Staff writer 24-05-2019 | 10:24 PM

COLOMBO (News 1st) - මතුගම, බදුරලිය ප්‍රදේශයේ පාසලකට අත්බෝම්බ තොගයක් ගෙනවිත් දැමීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම 32 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පවිත්‍ර මදුසංඛ නමැති අදාළ සැකකරු මේ වනවිට බදුරලිය පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. මතුගම, බදුරලිය, හැඩිගල්ල දික්හේන කණිෂ්ඨ විද්‍යාලයේ තිබි පැරණි අත්බෝම්බ 13 ඊයේ රාත්‍රියේ හමුවිය. ඒ, විද්‍යාලයේ රාත්‍රී ආරක්ෂක කටයුතුවල නිරතව සිටි අයෙකු විද්‍යාල පරිශ්‍රයේ කළ සංචාරයක් අතරතුරදී යි. පොලිස් නිල සුනඛයින් යොදා ගෙන අද මෙම පාර්සලය පාසැලේ දමාගිය පුද්ගලයින් සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කළේ ය. මූලික පරීක්ෂණවලින් පසු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අත්බෝම්බ පුපුරවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව දිගින් දිගටම අවධාරණය කළේ ය.