ගෞතම් ගම්භීර්ගේ ජයග්‍රාහී දෙවෙනි ඉනිම

ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට පැමිණි ගෞතම් ගම්භීර්ට සුවිශේෂි ජයක්

by Chathuranga Rajapaksha 24-05-2019 | 12:11 PM

News 1st: හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය (BJP) නියෝජනය කරමින් ගම්භීර් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර ඔහු භාරතීය ජනතා පක්ෂය සමග එකතු වූ බව ය. ගෞතම් ගම්භීර් නැගෙනහිර දිල්ලි ආසනය නියෝජනය කළ අතර ඔහු ලබාගත් ඡන්ද ගණන 6,96,156කි. ඉන්දීය අගනුවර වන නවදිල්ලි නගරයේ අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක් ලෙස නැගෙනහිර දිල්ලි හැඳින්විය හැකිය. ජනතාව සමග රැඳී සිටිමින් ගම්භීර් සිය ඡන්ද ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 37 වැනි වියේ පසුවන ගම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වර්ෂ 2004 සිට 2016 දක්වා වසර 12ක් සිය සේවය ලබා දුන්නේය. ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ගම්භීර් ටෙස්ට් තරග 58කදී ලකුණු 4154ක් ලබාගෙන තිබේ. ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ඇතුළත් ය. එක්දින ජාත්‍යන්තර තරග 147කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාඇති ලකුණු ගණන 5238කි. ශතක 11ක් සහ අර්ධ ශතක 34ක් ඊට ඇතුළත් විය. පන්දුවාර විස්සයි විස්ස තරග 37ක් ක්‍රීඩා කර තිබෙන ගම්භීර් ලබා ඇති ලකුණු ගණන 937කි. ඊට අයත් අර්ධ ශතක ගණන 7කි. ඊට අමතරව IPL ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් ගෞතම් ගම්භීර් වර්ෂ 2012දී සහ 2014දී ශූරතාවය දිනා ගැනීමට ද සමත් විය. ක්‍රිකට් පිටිය තුළ පෙරළිකාරයෙකු වූ ඔහු දේශපාලන පිටිය තුළ ද පෙරළියක් කරමින් ජනතා සේවය හොඳින් ඉටු කරනු ඇතැයි ඉන්දීය ජනතාවගේ බලාපොරොත්තුව වේ. මෙවර ඉන්දිය මහ මැතිවරණයෙන් භාරතිය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලෝක් සභාවේ ආසන 543න් 350ක බලය හිමි කරගෙන තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතිය ජනතා පක්ෂය පමණක් ලෝක් සභා ආසන 300ක් දිනා ගැනිමට සමත් විමයි. ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගැනිමට සමත් වුණේ ආසන 86ක් පමණි.