සයිබර් ප්‍රහාර එල්ල කර ඇත්තේ, විදෙස් කණ්ඩායම් 2ක්

වෙබ් අඩවි 13කට සයිබර් ප්‍රහාර එල්ල කර ඇත්තේ, විදෙස් කණ්ඩායම් 2ක්

by Staff writer 23-05-2019 | 7:08 AM
COLOMBO (News 1st) : මෙරට වෙබ් අඩවි කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස්ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව, අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේ, පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස්ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වනදා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බවයි. මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි 99% ක් යළි යථා තත්ත්වයට පත් කර ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය. ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේ, තවත් එක් වෙබ් අඩවියක් යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වුව ද, ඉන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බව ද, ඔහු අනාවරණය කළේ ය. ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේ, මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ බවයි. මේ අතර රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය. ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පසුගිය ඉරිදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට වෙබ් අඩවි 13 කට බලපෑම් එල්ල වූ අතර ඒ අතරට කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.