පාර්ලිමේන්තු සේවකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට...

පාර්ලිමේන්තු සේවකයා ඉදිරි විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට...

by Staff writer 23-05-2019 | 6:59 AM
COLOMBO (News 1st) : ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දෙන්නැයි, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, කඩිනමින් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් භාරයට පත් කිරිමට කටයුතු කරන බවයි. සැකකරුගෙන් මේ වන විටත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද, පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර, ජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, පොලීසිය හා ආරක්ෂක අංශ සිදුකරන විමර්ශනවල වාර්තා ලද විගස ඔහු සම්බන්ධයෙන්, අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරිමට ද නියමිත බවයි. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයා පරිහරණය කළ භාණ්ඩ සහ ඔහුගේ රාජකාරි කාලය තුළ සිදුකර ඇති කාර්යයන් විමර්ශනය කිරිම සඳහා පෙරේදා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේ ය. මේ අතර සැකකාර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයා මාස 3ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය පොලීසියට අවසර ලබා දී තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ, පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ රාජකාරියේ නිරතව සිටි මහනුවර පදිංචි අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙකි.