by Staff writer 23-05-2019 | 9:21 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආරක්ෂක ගිවිසුම් පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් අද තානාපතිනියගෙන් කරුණු විමසුවේ ය.
මෙහිදී අමෙරිකානු තානාපතිනී අලියානා ටිප්ලිට්ස් මහත්මිය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හමුවේ පැවසුවේ, ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් පැතිර යන බව ය.
එම නිසා මේ පිළිබඳව දෙපාර්ශවයම මුහුණට මුහුණ සාකච්ඡා කිරීම යෝග්‍ය බව ඇය පෙන්වා දුන්නා ය.
මෙරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබඳව අමෙරිකාවත් අවධානයෙන් පසුවන බව අලියානා ටිප්ලිට්ස් මහත්මිය මෙහිදී සඳහන් කළා ය.
රට තුළ ත්‍රස්තවාදය හෝ අන්තවාදය ඇති නොවීමට සංහිඳියාව වර්ධනය කිරීම වැදගත් බව අලියානා ටිප්ලිට්ස් මහත්මිය මහ නාහිමියන් හමුවේ සඳහන් කළා ය.
මෙම හමුවේදී මල්වතු මහ නාහිමියන් අවධාරණය කළේ, අමෙරිකාවෙන් ලැබෙන සහයෝගයේදී රටට හානි නොවිය යුතු බව ය.
මෙහිදී සංචාරක හමුදා ගිවිසුම පිළිබඳව තානාපතිනිය අදහස් දැක්වූ අතර ඇය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තවමත් එකඟත්වයකට නොපැමිණි බව ය.
එම ගිවිසුම පරිපාලන සහ කාර්යය සම්පාදන ගිවිසුමක් බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නා ය.
අමෙරිකානු තානාපතිනී අලියානා ටිප්ලිට්ස් මහත්මිය මහ නාහිමියන් හමුවේ වැඩිදුරටත් පැවසුවේ, අදාළ ගිවිසුම් ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව ය.
මෙහිදී මල්වතු මහ නාහිමියන් පෙන්වා දුන්නේ, සියල්ලම විනිවිද භාවයෙන් සිදු කිරීම වඩා යෝග්‍ය බව ය.
අමෙරිකානු තානාපතිනී අලියානා ටිප්ලිට්ස් මහත්මිය අද මහනුවරට පැමිණි අවස්ථාවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් ද බැහැ දුටුවා ය.