'ආපදාවට පෙර සූදානම' තවත් පියවරක් ගාල්ලේදී

'ආපදාවට පෙර සූදානම' ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයේ තවත් පියවරක් ගාල්ලේදී

by Staff writer 22-05-2019 | 2:07 PM
COLOMBO (News 1st) - 'ආපදාවට පෙර සූදානම' මහජන සේවා ක්‍රියාන්විතයේ තවත් පියවරක් අද ගාල්ලේදී පැවැත්විණි. ඒ, ගම්මැද්ද කණ්ඩායමේ මූලිකත්වයෙනි. ඉදිරි ගංවතුර අවස්ථාවකදී ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, බද්දේගම, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දැනුවත් කිරීම අද උදෑසන 10.00ට ආරම්භ විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, A-PAD හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිෆික් සහයෝගීතා සංවිධානය ගම්මැද්ද සමග එක්ව මෙම වැඩසටහනට දායක වේ. අප වාර්තාකරු පැවසුවේ, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය හා යුද හමුදාව ද මෙම සත්කාර්යට සහය දීම සඳහා එක්වූ බව ය.