ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත අවසන් තරගය අද

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත අවසන් තරගය අද

by Staff writer 21-05-2019 | 8:26 AM
COLOMBO (News 1st) : තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සහා අවසන් තරගය අද එඩින්බර්ග්හිදි පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පමණක් තරගාවලියක් පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ. තවත් දින 10 කින් ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් ජාත්‍යන්තර එක්දින තරය මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් එක්දින තරග 8 ම පරාජයට පත්වීම සහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් අවසන් වරට ජයගෙන වසර 3 ක් ගත වීම හේතුවෙන් අද ස්කොට්ලන්තයත් සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර 2011 වසරේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට ස්කොට්ලන්තය සමඟ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී විය. එඩින්බර්ග්හිදී පැවති එම තරගය ලකුණු 183කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඉන්පසුව 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සමඟ තරග වැදුණු අතර එම තරගය ද ලකුණු 148 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරග දෙකෙන් ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුලම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විවේක ගන්වා තිබේ. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරග දෙකම පැවැත්වෙන්නේ එඩින්බර්ග් හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේදීයි. එඩින්බර්ග්හි ග්‍රේන්ජ් ක්‍රිකට් සමාජ පිටියේදී ස්කොට්ලන්තය සමග ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරගයකදී එකිනෙකා හමුවන්නේ වසර 8කට පසුවයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිත වේ.