අප්‍රේල් 21 කුරිරු ප්‍රහාරයට අදට මාසයයි

අප්‍රේල් 21 කුරිරු ප්‍රහාරයට අදට මාසයයි

by Staff writer 21-05-2019 | 10:34 PM
COLOMBO (News 1st) - කිසිවෙකුත් නොසිතූ මෙහොතක අප්‍රේල් 21 වන දා එල්ල වූ කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට හරියටම මාසයක්. මේ ප්‍රහාරවලින් පුද්ගලයින් 253 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 485කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කළේ ය. මේ ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකුට සිය සමීපතමයින් අහිමි වූ අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය ඉදිරිපිටට අද බොහෝ පිරිසක් රැස් වුණේ මිය ගිය සිය සමීපතමයින් සිහිපත් කිරීම සඳහා ය. මීගමුව කටුවාපිටිය ජනතාව අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයට රැස් වුණේ, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සිය සමීපතමයින් සිහිපත් කිරීම සඳහා ය මඩකලපුව සියොන් දේවස්ථානයේ ද අද විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි. මේ අතර වැලිගම නගර ශාලාවේදී අද සර්ව ආගමික සමුළුවක් පැවැත්විණි. එය සංවිධාන කර තිබුණේ, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය හා අන්තර් ආගමික කමිටුවේ මැදිහත් වීමෙනි. මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ, මහාචාර්ය පාතේගම ඥානීස්සර ස්වාමීන් වහන්සේ විසිනි. අප්‍රේල් 21 වන දා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහි කරමින් අද කොළඹ ලිබර්ටි වටරවුම ඉදිරිපිට නිහඬ සත්‍යග්‍රහයක් සංවිධාන කර තිබිණි. එය සංවිධාන කර තිබුණේ, රට රකින පරපුර නම් වූ සංවිධානයයි. රටේ සැමට එක නීතියක් ක්‍රියාත්මක කරන්න යන්න ඔවුන්ගේ ප්‍ර‍ධාන ඉල්ලීමයි. මේ අතර තිස් අවුරුදු යුද්ධයෙන් හා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාට පිං අනුමෝදන් කරමින් ධානමය පිංකමක් අද පැවැත්විණි. ඒ, ශ්‍රී ජයවර්ධනපුර කිඹුලාවෙප බෞද්ධ මධ්‍යස්ථානයේදී ය.