අප්‍රේල් 21 ප්‍රහාරය:පාර්ශව ගණනාවක් අධිකරණය හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් අධිකරණය හමුවට

by Staff writer 21-05-2019 | 9:40 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතීන් කඩ වී ඇතැයි පවසමින් පාර්ශව ගණනාවක් මේ වන විට අධිකරණය හමුවට ගොස් තිබේ. බුද්ධි තොරතුරු වාර්තා ලැබී තිබූ පසුබිමක අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇතැයි කියමින් දරු දෙදෙනෙකු අහිමි වූ පියෙකු සහ සංචාරක ව්‍යාපාරිකයෙකු ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලිනි. පෙත්සම් අද කැඳවූයේ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය. දරු දෙදෙනා අහිමි වූ පියා ගොනු කළ පෙත්සමේදී වගඋත්තරකාර පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු පෞද්ගලිකව පෙනී සිටියහ. වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍ර‍නාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ, තමන්ට නොතීසි නොලැබුණු බවත් පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්තිය දැක තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරන බව ය. කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නොතීසි යළි භාර දෙන ලෙසට පෙත්සම්කරුගේ නීතිඥවරයාට දැනුම් දෙනු ලැබී ය. නඩුව ලබන 31 වන දා යළි සලකා බැලීමට නියමිත ය. මේ අතර කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක ප්‍ර‍ධානීන් විත්තිකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ ය. අප්‍රේල් 21 ප්‍ර‍හාරය හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් කතෝලික සභාව නියෝජනය කරන පියතුමන්ලා පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළහ. අගමැතිවරයා, හිටපු පොලිස්පතිවරයා, වත්මන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.