by Staff writer 21-05-2019 | 6:32 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 වන දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සියලු දෙනාගේ අනන්‍යතාව DNA පරීක්ෂණවලින් තහවුරු කර ගෙන තිබේ.
ඒ අනුව ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් සිදු කර ඇත්තේ, මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් අහමඩ් නමැත්තා වන අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කර ඇත්තේ, මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තා ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මොවුන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රහීම් නමැත්තාගේ DNA සමග සැසඳීමේදී මේ බව තහවුරු කර ගත් බව ය.
කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරු වන්නේ, අච්චි ම්හම්මදු ම්හම්මදු හස්තුන් නමැත්තා වන අතර ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබා ගත් DNA සාම්පල සැසඳෙන බව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අලවුඩීන් අහමඩ් මුවාත් නමැත්තා කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරු වන අතර ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබා ගත් DNA සාම්පල මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලේදී සිදු වූ පිපිරීමට සම්බන්ධ බෝම්බකරු වන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ අනනත්‍යතාව තහවුරු කර ගෙන ඇත්තේ, ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ DNA සාම්පල උපයෝගී කර ගෙන ය.
මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත් නමැත්තා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ලෙස තහවුරු වී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහුගේ මවගේ DNA මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත් සමග සැසඳෙන බව ය.
කොළඹ කිංස්බරී හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරු වන්නේ, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැත්තා ය.
දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ පුපුරුවා ගත් බෝම්බ දෙකෙන් මිය ගොස් ඇත්තේ, මොහොමඩ් ෆාතිමා ජිෆ්රි යන තැනත්තිය වන අතර ඇය ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් අහමඩ් නම් බෝම්බකරුගේ භාර්යාව බව පොලීසිය පවසයි.
එමෙන් ම දෙමටගොඩ සිදු වූ එම පිපිරීමෙන් මිය ගිය දරුවන් තිදෙනා ද මොවුන්ගේ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන පිපිරීම් දෙකෙන් අනෙක් පිපිරීමක් සිදු කරගෙන ඇත්තේ, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නමැත්තා යි.
සයින්දමරුදුහිදී ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව සිටින සහරාන්ගේ දියණිය සහ භාර්යාවගෙන් ලබා ගත් DNA සාම්පල උපයෝගී කර ගනිමින් සිදු කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් සහ ඥාතීන්ගෙන් ලබා ගත් DNA සාම්පල එකිනෙක සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කළ බව ය.