ජනපති ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි ත් අනතුරු ඇඟවීමක්

"සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇති.." - අමෙරිකානු ජනපති

by Sagarika Chathumali 20-05-2019 | 7:14 AM
ඉරානයට සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත්කරමින් ඉරානයට කියා සිටියේ යළි කෙදිනක හෝ අමෙරිකාවට තර්ජනය නොකරන ලෙසයි . මෙම තත්ත්වය හමුවේ දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක දැඩි කර ඇති අතර , මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදාව ස්ථානගත කිරීමේ ක්‍රියා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ. අමෙරිකාව පවසන්නේ ඉරානය සිය සෙබළුන්ට සහ සිය රටට තර්ජනයක් බවයි . කෙසේ වෙතත් අමෙරිකාවේ මෙම ක්‍රියා මානසික යුද්ධයක් සහ දේශපාලන තරඟයක් බව ඉරානය චෝදනා කළේ ය.