වියලි කාලගුණයෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් පීඩාවට

වියලි කාලගුණයෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් පීඩාවට

by Staff writer 20-05-2019 | 10:11 AM
COLOMBO (News 1st) : පොළොන්නරුව, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි. උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී , වැඩිපුර ජලය පානය කිරිම ,සුදු හෝ ලා පැහැති ඇදුම් භාවිත කිරිම සහ අධික වෙහෙසකාරි කටයුතුවලින් ඉව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3 කට අධික පිරිසක් පීඩාවට පත් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, උතුරු පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි. ඇතැම් ප්‍රදේශ සඳහා ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරමින් ඇතැයි ද ඔහු පැවසී ය. මේ අතර පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක 2 කට අද දිනයේ මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.