අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යොමුකරන්න..

අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යොමුකරන්න... යුද හමුදාපති දෙමව්පියන්ගෙන් ඉල්ලයි

by Sagarika Chathumali 20-05-2019 | 1:01 PM
COLOMBO (News 1st) : රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රකාශයක් සිදු කරමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ, දෙවන පාසල් වාරය ඇරඹුණ මෙහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණ ද පැතිරගිය කටකතා හේතුවෙන් දෙමාපියන් දරුවන් පාසල් එවීමෙන් වැළකී සිටි බවයි. අනත්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ දැඩි කැපවීමකින් කටයතු කර ඇති බව යුද හමුදාපතිවරයා සිය ප්‍රකාශය මගින් සිහිපත් කර සිටී. ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදීන් විනාශ කර හා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් හා සාමය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිද හමුදාව උපරිම දායකත්වයක් ලබා දුන් බව  යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ය. යුද හමුදාපතිවරයා තවදුරටත්  ඉල්ලා සිටින්නේ, ඉදිරි ආරක්ෂක කටයුතු සඳහා ද ජනතාවගේ අවංක සහයෝගය ලබා දෙන ලෙසයි. https://www.youtube.com/watch?v=TigSLZLWNJo