පාකිස්ථානයට එරෙහි තරගාවලියේදී එංගලන්තයට විශිෂ්ට ජය

පාකිස්ථානයට එරෙහි තරගාවලියේදී එංගලන්තයට විශිෂ්ට ජයක්

by Staff writer 20-05-2019 | 8:11 AM
COLOMBO (News 1st) : පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ පස්වන හා අවසන් තරගය ලකුණූ 54 කින් ජය ගනිමිනි. මෙය එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ජය ගත් 11 වන එක්දින ක්‍රිකට් තරගාවලියයි. එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක එංගලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණූ 351 ක් රැස් කළේ ය. ජෝ රූට් ලකුණූ 84 ක් රැස් කළ අතර නායක ඔයින් මෝගන් ලකුණු 76ක් රැස් කළහ. ශහීන් ශා අෆ්රිඩි ලකුණු 82 ට කඩුලු 4 ක් දවා ගත් අතර ඉමාඩ් වසීම් ලකුණූ 53 ට කඩුලු 3 ක් දවා ගත්හ. මෙම ඉණිමත් සමග එංගලන්ත කණ්ඩායම වාර්තා අතරට එක්වුණේ, අඛණ්ඩව ලකුණු 340 සීමාව වැඩිම වාර ගණනක් පසු කිරීමට සමත් වූ ලොව පළමු කණ්ඩායම ලෙසයි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 352 ක ජයග්‍රාහී ඉලක්කයක් සදහා පිටියට පිවිසි සංචාරක පාකිස්ථාන ක්‍රීඩකයින්ට පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 297 ක් පමණි. බාබර් අසාම් ලකුණූ 80 ක් රැස් කළ අතර නායක සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 97 ක් සහා අසීෆ් අලී ලකුණූ 22 ක් රැස් කළහ. ක්‍රිස් වෝක්ස් ලකුණු 54 ට කඩුලු 5 ක් දවා ගත් අතර ආදිල් රශීඩ් කඩුළු 2 ක් දවා ගත්හ.