බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අද සහ හෙට අවස්ථාව

by Staff writer 19-05-2019 | 7:06 AM

COLOMBO (News 1st) - වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට සියලු බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමිවේ.

පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය ඒ සඳහා වෙන් වනු ඇති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද දිනයේ පමණක් සිරකරුවන් හමුවීමට පැමිණෙන ඥාතීන්ට ආහාර පාන රැගෙන ඒමට ද අවස්ථාව ලබාදෙන බවයි. මේ අතර අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හා පසුගිය දිනවල වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 250 කට අධික පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඒ අතර වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ 84 දෙනෙකු ද වන බවයි.