සිදු වූ වැරදි යළි නොකරමු!

by Staff writer 18-05-2019 | 9:07 PM
COLOMBO (News 1st) - රටක් ලෙස ඉදිරියට යන්නට ඉතිහාසයෙන් උගත යුතු පාඩම් බොහෝයි. මේ අතීතාවර්ජනය සිදු වූ වැරදි යළි නොවීම උදෙසායි. ඉතිහාසයේ සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානයක් වන විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ රාජධානියේ බලය ධර්මපාල කුමරුට හිමි වේ. මෙම කාලය පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාව මුළුමනින්ම තමන්ට අත්පත් කර ගැනීම සඳහා දේශපාලන උපාය මාර්ගය තෝරමින් සිටි අවධියකි. එය වසර 40ක් පුරා වළක්වන්නට මායාදුන්නේ රජු හා දෙවන රාජසිංහ සුවිශේෂී වෙහෙසක් දැරුව ද ධර්මපාල රජු කෝට්ටේ රාජධානියේ සිට එම සටන පෘතුග්‍රීසීන්ට පාවා දුන්නේ, තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුග්‍රීසීන්ගේ බූදලයක් බවට පත් කරමිනි. පෘතුග්‍රීසීන්ගේ කූට උපායන්ට රැවටුණු ධර්මපාල කුමරු, පෘතුග්‍රීසීන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීම කොතරම් හොඳින් කළේ ද යන්න සනාථ වන්නේ, ධර්මපාල රජු 1557 වසරේදී දොන් ජුවන් ධර්මපාල නමින් පෘතුග්‍රීසීන් අතින් බෞතිස්ම ලැබීමයි. රටේ තීරක බලවේග වූ භික්ෂූන් වහන්සේගේ හා ජනතාවගේ විරෝධයට ලක් වන දොන් ජුවන් ධර්මපාල, මෙරට ජන සමාජයට මෙන්ම ආර්ථිකයට ද එල්ල කළේ බරපතළ තර්ජනයකි. දේශීයත්වය ප්‍ර‍තික්ෂේප කරමින් පෘතුග්‍රීසීන්ට මෙරට තිබුණු ආර්ථික අවස්ථා විවර කර දීම ඒ අතර ප්‍ර‍ධාන ය. රටේ ජන හඬට කන් නොදුන් ධර්මපාල මෙරට වෙහෙර විහාරස්ථානවලට අයිති දේපළ පවා විදේශිකයින්ට පවරා දීමට කටයුතු කරයි. මේ ඉතිහාසය යළි අප සිහිපත් කරන්නේ, එවැනිම රට පාවා දීමේ සිදුවීම් අද වන විට යළි සිදු වෙමින් පවතින බවට සලකුණු මතු වන හෙයිනි. එවන් තත්ත්වයක් යළි ඇති නොවීමට ජනතාව මෙන්ම පාලකයින් ද වග බලා ගත යුත්තේ, අනාගත පරපුර ගැන සිතමිනි. ශ්‍රී ලංකාව ජනරජයකි. ශ්‍රී ලංකාවේ නොබැඳි රාජ්‍ය සංකල්පය රැක ගැනීම සැමගේ යුතුකමකි.