ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට නිදහස

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට නිදහස

by Staff writer 18-05-2019 | 7:11 AM

COLOMBO (News 1st) - වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට අද නිදහස හිමිවේ.

සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 762 දෙනෙකුට මෙලෙස නිදහස හිමිවන අතර ඊට සිරකාරියන් 26 දෙනෙකු ඇතුළත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙලෙස සිරකරුවන් සඳහා ජනපති පොදු සමාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් හෙට හා අනිද්දා යන දින දෙක තුළ බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මෙවර වෙසක් පොහෝ දිනයේදී බන්ධනාගාරගත රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි නොවන බවයි. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් හේතුවෙනි.