ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

by Staff writer 18-05-2019 | 10:32 PM
(News 1st) - අද පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය ජය හිමි කර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැතිවරණයේ පරාජය භාර ගනිමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව එරට විපක්ෂ නායක සහ කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝටන් නිවේදනය කර ඇති බව ය. පාර්ලිමේන්තුවේ ආසන 151ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් මිලියන 16.4ක් සුදුසුකම් ලබා සිටියහ. මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 74ක බලය හිමි කර ගෙන ඇති බව සඳහන් ය. විපක්ෂයට හිමි වී ඇත්තේ ආසන 66ක් පමණි. කෙසේ වෙතත් පූර්ව මැතිවරණ මත විමසුම් පැවසුවේ, විපක්ෂ නායක බිල් ෂෝට්න් නායකත්වය දරණ කම්කරු පක්ෂය මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇති බව ය.